Saturday, February 25, 2017

රාජකාරිය






කිරිසිනා මල් සලා දඟ දමන්නට ඇතී
ඇස් පියන් යට ඉඳන් ආදරේ බොන්නැතී
පියෙන් පිය පියනගා ශිල්ප උගනින්නැතී
දසකෙකුත් තුන්වසක් අකුරු අමුණන්නැතී

කැඩුණු ලී බංකුවේ ඉඳන් ඇඹරෙන්නැතී
රෑ දවල් වෙනස් බව නොම දැනෙන්නට ඇතී
පිටු පිරුණු මුතු අකුරු නුඹට හිනැහෙන්නැතී
හති වැටෙන තරඟයෙන් ජය ලබන්නට ඇතී

සරසවියේ උස් වියන් අඬ ගසන්නට ඇතී
චේ මාක්ස් එංගල්ස් එක්ක ඇවිදින්නැතී
රොබරෝසියා සුවඳේ වෙලී පැටලෙන්නැතී
ලෝගුවේ බර හිතට මහමෙරක් වෙන්නැතී

මව් බිමට සලකන්න හීන අහුලන්නැතී
දහසකුත් එකක් දේ අතැඹුලට ගන්නැතී
සියයකින් එකෙක් වී මේ බිමට එන්නැතී
හෙට දිනේ දිසාවක කිරුළු පළඳිනු ඇතී

ගඟුලකට ඇහැකි නම් ජල තරඟ නංවන්න
කඳු ශිඛර හෙල් මැදින් සීරුවට ඇවිදින්න
රළු පරළු ගල් බොරළු කැට සුමට කරලන්න
පිය නඟන මාවතේ දනන් සිත් සනසන්න
ඉරි තැලුණු මහ පොලොව ස්නේහයෙන් නහවන්න
හෙට දකින කැකුළු මල් ආදරෙන් පුබුදන්න
සබඳ ඔබ ගඟුලක්ව රටට ජීවය දෙන්න
හැකිය සිඳු දකින දින සාමයෙන් සැතපෙන්න

ප්‍රභාත් චන්දිම 


No comments:

Post a Comment